නූතනවාදී හැඩතල තැවරුම

නූතනවාදී හැඩතලය කැන්වසය මත තැවරූ ලාංකේය සිත්තරා-
ජස්ටින් දැරණියගල

ජස්ටින් දැරණියගල නම් නිර්මාණාත්මක සිත්තරා වර්ෂ 1903 ජූලි 20 වැනි දින කොළඹ දී උපත ලැබීය. මූලික අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.



මොහු වාසල මුදලි ඒ.සී.ජී.එස්.අමරසේකර මහතා පවත්වාගෙන ගිය ඇට්ලියර් චිත්‍ර කලා පාසලෙන් චිත්‍ර කලාව පිළිබඳ ව අත්පොත් තැබීය. පසු ව අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු චිත්‍ර කලා පරීක්ෂකයකු වූ සී.එෆ්.වින්සර් මහතා යටතේ ද තම චිත්‍ර කලා හැකියාව හා දැනුම වර්ධනය කර ගත්තේ ය.

පසුව මොහු 1922 ලන්ඩනයට ගොස් ක්‍රේම්බ්‍රිජ් හි ට්‍රිනිටි විද්‍යාලයෙන් ද අනතුරු ව ලන්ඩන් හි ස්ලේඩ් ස්කූල් ඔෆ් ආර්ට් (SLADE SCHOOL OF FINE ART LONDON) හි චිත්‍ර කලාව වැඩිදුරටත් හැදෑරීය. 1926 – 1927 කාලයේදී මොහු ස්ලේඩ් චිත්‍ර කලා පාසලේ ඇඳීම සඳහා හිමිවන ප්‍රථම ත්‍යාගය ලබා ගත්තේ ය. මේ සඳහා ජස්ටින් දැරණියගල සිත්තරාට ස්ලේඩ් චිත්‍ර කලා පාසලේ ගුරුවරයන් වූයේ ටොත්ක්ස් හා ස්බෙට් ය.

1928 දී ජස්ටින් දැරණියගල සිත්තරා පැරිසියේ ජූලියන් කලා පාසලට ඇතුළු වී තවදුරටත් තම චිත්‍ර කලා වපසරිය වර්ධනය කර ගත්තේ ය. පසු ව 1929 දී දැරණියගලයන් තම මව් බිම වන ශ්‍රී ලංකාවට පැමිණියේ ය.
jus
1934 – 35 වර්ෂවලදී දැරණියගලගේ චිත්‍ර ලන්ඩනයේ දී ප්‍රදර්ශනය කෙරිණි. මේ ප්‍රදර්ශනයෙන් පසු දැරණියගලයන් අන්තර්ජාතික කීර්තියට පත් විය. මේ මඟින් බොහෝ නිර්මාණාත්මක චිත්‍ර ශිල්පීන්ගේ ඇසුර ලබා ගැනීමට මෙතුමාට හැකි විය.

මේ ප්‍රදර්ශනයට ජස්ටින් දැරණියගල සිත්තරාට සමගාමී ව පැබ්ලෝ පිකාසෝ, මතේ, තුලොස්ලෝත්රේ, හෙන්රි මතිස් යන ප්‍රවීණයන්ගේ කෘති ද ප්‍රදර්ශනයට තබා තිබුණි. මෙහිදී දැරණියගලගේ ‘ප්‍රේමවන්තයෝ’ නම් චිත්‍රය විශේෂ ඇගයීමකට ලක්විණි. මෙහි වර්ණ සංකලනය, හැඩතලයන් හි නිර්මාණාත්මක බව හා චිත්‍ර සංරචනයේ ඇති නවමුබාවය නිසා මෙය විචාරකයන්ගේ විශේෂ පැසසුමට ලක් වූ බව උගතුන්ගේ මතයයි.

ව්‍යුක්ත රූපී හැඩතල භාවිතා කරමින් මේ ‘ප්‍රේමවන්තයෝ’ නම් චිත්‍රය දැරණියගලයන් නිර්මාණය කර තිබුණි. මේ චිත්‍රය සුප්‍රකට චිත්‍ර කලා විචාරක දෙපළක් වන ජෑන් ගෝඩින් හා එරික් නිව්ටන් ගේ විශේෂ විචාරක පැසසුමට ද ලක්විය.

දැරණියගලගේ සිතුවම් ගැන එරික් නිව්ටන් මෙසේ ප්‍රකාශ කර ඇත. “ඔහුගේ සිතුවම් නිර්මාණය වී ඇත්තේ ස්වභාව ධර්මය ඇසුරෙනි”, යනුවෙනි.

ජස්ටින් දැරණියගල 43, කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වූ අතර 43 කණ්ඩායමේ සිටි නිර්මාණාත්මක චිත්‍ර ශිල්පීන් අතරින් ප්‍රමුඛතාවය ගෙන ද කටයුතු කළේ ය.


Book-review--Justin-Deraniyagala
සමකාලීන ලාංකික චිත්‍ර කලාව පිළිබඳවත් ලෝක චිත්‍ර කලා ප්‍රවණතා ගැනත් හසල දැනීමක් මේ චිත්‍ර ශිල්පියාට තිබුණි. ඒ නිසාම යුරෝපීය චිත්‍ර කලාවේ ඇතැම් ප්‍රවණතා ජස්ටින් දැරණියගලගේ චිත්‍රයන්හි පිළිබිඹු විය. ඔහුගේ චිත්‍රවල මිනිස් රූ බොහෝ විකෘති ශෛලියක් ගත්තේ ය. එය ඔහුගේ ආවේණික ක්‍රමය විය. වර්ණ හැසිරවීමේ දී බොහෝ දුරට ගූඪත්වය පිළිබිඹු වන ආකාරයේ වර්ණ යෙදීම ද ජස්ටින් දැරණියගලගේ චිත්‍ර කලාවේ විශේෂ ලක්ෂණයකි.

මොහුගේ චිත්‍රවලට බහුල ලෙස වර්ණ වශයෙන් යොදා ගත්තේ රෝස දුඹුරු පැහැයේ ප්‍රභේදයන්ය. මේ වර්ණ තුළින් ජස්ටින් දැරණියගල තම සිතුවම්වලට සියුම් බව හා මෘදු බව ඇතුළත් කෙළේ ය. එමඟින් දැරණියගලගේ සිතුවම් නව ආරකින් බිහිවිණි. එමෙන් ම කැඩුණු රේඛා යෙදීම ද, වර්ණ එක තැන තැවරීම ද මොහුගේ චිත්‍රයන්හි දැකිය හැකි විශේෂ ලක්ෂණයක් ය.

’තාපසාරාමය අසල පව්ව‘ නැමැති චිත්‍රය ද මොහු අතින් බිහි වූ විශිෂ්ට කෘතියකි. පොල් අතු සෙවිලි කළ ගෙයක් ද ගස් තුනක කඳන් ද මේ චිත්‍රයේ දක්නට ඇත. මේ චිත්‍රයෙන් ස්ලේඩ් කලායතනයේදී ලැබූ ආභාසය අපූර්වට විදහාපාන බව බොහෝ විචාරකයන් කියනු ලබයි.

’මල් බඳුන හා ගැහැනු දෙදෙනා’ නැමැති සිතුවමින් හෙන්රි මතිස් ගේ ශෛලිය මොහුට බොහෝ දුරට බලපා ඇත.

’රන්මාළුවා අතැති දැරිය’ යන චිත්‍රයේ හැඟීම් නිදහස් නිරායාස ව ගලා යන ආකාරයට දැරණියගලයන් කැන්වසයට වර්ණ ආරූඪ කර තැබීම ද ඔහුගේ හැකියාවේ විශේෂ ලක්ෂණයකි.

ආලෝකය හා වර්ණ සංයෝජනය හැසිරවීම අතින් ඉතා ඉහළ මට්ටමක ඇති චිත්‍රයක් ලෙස මෙය බොහෝ විචාරකයන් හඳුන්වනු ලබයි.

පිකාසෝගේ චිත්‍ර සිහිගන්වන ‘කැඩපතක් අතැති දැරිය’ යන චිත්‍රය ද ජස්ටින් දැරණියගල සිත්තරා අතින් නිර්මාණය වූ විශිෂ්ට චිත්‍රයකි. එයට අමතරව මොහුගේ ‘මාතෘත්වය’ නම් නිර්මාණය විචාරකයින්ගේ නොමඳ පැසසුමට ලක්වූවකි. මෙයින් ලාංකීය ගැමි මාතෘත්වය විදහාපායි.

z p-48-A-splendid-02

තවද මොහුගේ චිත්‍ර අතර ‘අඳ මව් සහ දරුවා’, ‘රන්මසු සමඟ සිටින යුවතිය’, ‘මනාලිය සහ දරුවා’, ‘පියානෝ පාඩම’ වැනි කෘතිද විචාරකයන්ගේ හා රසිකයන්ගේ පැසසුමට ලක් වූ විශේෂ චිත්‍ර වේ.

ඔහුගේ චිත්‍රයන්හි දක්නට ඇති තවත් විශේෂ ලක්ෂණයක් වනුයේ එකකට එකක් වෙනස් වස්තු විෂය භාවිතා කිරීමයි. මොහු විටෙක චිත්‍රවල ගන ව වර්ණ තවරනු ලබයි. තවත් විටෙක වර්ණ විනිවිද පෙනෙන සේ හසුරුවයි. මෙකී ලක්ෂණ ඔහුගේ දියසායම් චිත්‍ර හා තෙල් සායම් චිත්‍ර දෙස බලන විට අපූරුවට පෙනී යයි.

ඒවගේම දැරණියගල සිත්තරාගේ චිත්‍ර ඒකාකාරී බවින් මිදී එකකට එකක් වෙනස් ආකාරයක් දෙනු ලබන විවිධත්වයක් ද දක්නට ඇත.

ලාංකික චිත්‍ර කලාවේ නූතනවාදී බව ප්‍රකාශ කළ පළමු පෙළේ සිත්තරා ජස්ටින් දැරණියගලයි. ඒ නිසාම ඔහුගේ ‘රන්මාළුවා අතැති දැරිය’ නම් චිත්‍රයට වැනීසියේ පැවැත්වූ 28 වැනි ද්විවාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනයේදී යුනෙස්කෝ සම්මානය හිමිවිය. එය ලාංකික චිත්‍ර කලා ක්ෂේත්‍රය ලැබූ විශාල ජයග්‍රහණයකි.

මේ අපූර්ව ගණයේ සිත්තරා පිළිබඳ ව ලාංකික චිත්‍ර කලා වපසරියේ එතරම් දුරට කතා බහ නොකිරීම කනගාටුවට හේතුවකි. ඔහුට කරන සරදමකි. අවමානයකි.

මේ අග්‍රගණ්‍ය චිත්‍රශිල්පියා 1967 – මැයි මස 24 වැනි දින අප අතරින් වෙන් විය.

චන්දන රණවීර
silumina

Rate this item
(0 votes)

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

නවතම